RSS
Gallery

දේශාටනයේ යෙදුණු පාහියන් භික්ෂුව ලංකාව ගැන ලියයි

උතුරු දිග චීනයේ ෂාංහයි ජනපදයේ එක්තරා ගොවිපවුලකට පිරිමි දරුවන් සතර දෙනෙකු විය. යොවුන් වියට පත්වෙද්දී මෙකී දරුවන්ගෙන් වැඩිමහල් තිදෙනා අකාලයේ මියඇදුනෝය. මෙයින් මහත්සේ බියට පත්වූ දෙමව්පියන් “කුං ශේ” බුදුසසුනට පුජා කළෝය. කුං ශේ ගේ පැවිදි නම වූයේ පාහියන් ය. පාහියන් යන්නේහි අර්ථය ධර්මය බබලවන්නා යන්නයි.නාමයට ගැලපෙන පරිද්දෙන්ම උන් වහන්සේ සාමනේර අවධිය පටන්ම අතිමහත් චිත්ත ධෛර්යයකින් හෙබි භික්ෂුන් වහනසේ කෙනෙකු ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්විය.

පාහියන් තුමාගේ ගමන් මග

පාහියන් තුමාගේ ගමන් මග

පැවිදි වියේ මුල් අවධියේ සිටම උන් වහන්සේ ආදර්ශමත් විනය ගරුක යතිවරයෙකු විය. එතුමා තුල පහල වු බලාපොරොත්තුවක් වුයේ රටරට වලට ගොස් හැකිතරම් ධර්ම කරුනු රැස් කිරිමයි. ඒ සඳහා ගෞතම බුදුන්වහන්සේ උපන් ඉන්දියාවට පැමිණිම තිර අදිටනක් විය. අවස්ථා ගණනකදි උන් වහන්සේ මේ කාර්‍ය ඉටුකර ගැනිම සඳහා සූදානම් වුවද අතහැර දමන්නට සිදුවිය. නොපසුබටනා විර්යයෙන් පිරිපුන් එතුමා බාධක මැද තම අභිලාෂය ඉටු කර ගත්තේය.පුදුමයට කරුණ වන්නේ ඒ වන විටත් තුමාගේ වයස 65ක් ඉක්මවීමයි.

ක්‍රි ව 399 දි එතුමා තම සංචාරය ආරම්භ කල බව දැක්වේ. ඊට සහභාගි වු ගණන 10 කි.ගමන සඳහා කණ්ඩායම තොරාගත්තේ පහසු මාර්ගයක් නොවේ. මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරය හරහා වූ අති දුෂ්කර මාර්ගයකි. ඇත්තේන්ම එය බිහිසුනු ගමනකි. වැලි කුණාටු අධික උෂ්නත්වය (දිවා සමය) අධික ශීතල (රාත්‍රිය) වැනි දේශගුණික හේතු , රළු මාර්ග ,මං පහරන්න සොරුන්ගේ කරදර මධ්‍යයේ මේ පිරිස ගාන්ධාරය හරහා පුරුෂ පුර තක්ෂිලා පසු කරමින් උතුරු ඉන්දියාවේ මගධය පැමිණියහ

එය ඉන්දියාවේ ගුප්ත පරපුරේ II වන චන්ද්‍ර ගුප්ත රජ සමයයි. මෙකල ඉන්දියාවේ ස්වර්ණමය කාලපරිච්ඡේදයකි. 6 අවුරුද්දක් උන් වහන්සේ ඉන්දියාවේ ගත කළහ. බුදුන් වහන්සේ ජිවමානව වැඩ සිටි සියළු ස්ථාන වැඳ පුදා ගත් උන් වහන්සේ බොහෝ ධර්මග්‍රන්ථ පරිශීලනය කර එවා පිටපත් කර ගත්තේය.පසුව ත්‍රාම්ලිප්ති නැව්තොටින් ගොඩනැගුනු පිරිස දින 14ක ගමනකින් පසුව ලංකාවට ගොඩබට බව සඳහන් වේ. එකල අනුරාධපුර රාජධානි සමයයි.මහානාම රජු (ක්‍රිව 409-31) එකල මෙරට පාලනය කළ රජුය. පාහියන් තුමාට මහානාම රජුගේ අනුග්‍රහය යටතේ වැඩ සිටිමට අරාධනා ලැබුනේ අභයගිරි විහාරයේය.

කෙසේ වෙතත් එතුමා මෙරටට පැමිණි සමය සිහසුන සම්බන්ධව කැළඹිලි සහිත සමයක් විය. මහානාම රජතුමා ඉතාමත් ධාර්මික රජෙකු විය. එතුමා සිහසුනට පත්වීමට පෙර පැවිද්දෙකු විය. නමුත් එතුමා ගේ අගබිසව රජුගේ සොහොයුරා වූ උපතිස්ස සමග තිබු මිත්‍ර සම්බන්ධයක් ඇසුරෙන් කුමන්ත්‍රණයකින් රජුමරා දම සිහසුනට පත්විය.මේ පාහියන් හිමියෝ ලංකාවේ සිටි සමයේ පැවති දේශපාලන ක්‍රියාවලියයි.

පාහියන් භික්ෂුව මෙරට වසර 2ක් නැවති සිටියේය. රාජධානිය පුරා ඇවිද්දේය.අභයගිරි මෙන්ම මහාවිහාර භික්ෂුන් ආශ්‍රය කළේය. තමා ඇසින් දුටු හා ඇසූ තොරතුරු සටහන් කරගත්තේය.එතුමාගේ දේශාටන වාර්තාවේ ලංකාවේ පිහිටිම දේශගුණය මෙරට ජනාවාස වු අකාරය අභයගිරිය ස්ථුපය ,මහ විහාරය ඇතුළු ගොඩනැගිලි, දළදා පෙරහැර,චේතියගිරිය යන ප්‍රදේශ විශේෂයෙන් දක්වා තිබේ.

පාහියන් තුමාගේ සටහන අනුව මෙරට මුහුදු සිමාවේ සිට සැතපුම් 40ක් දක්වා දූපත් රජුට අයත්විය. ඒවා පාලනය කලේ රජු විසින් පත්කල නිලධාරින් මඟිනි. පාලනය ඉතාමත් ධාර්මිකය තෙරුවන් කෙරේ ඉමහත් භක්තියක් ඇත. එතුමා සමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කෙරේ ඉමහත් සැලකිල්ලක් දක්වයි. එතුමා සඳහන් කල මේ රජු මහානාම රජු ලෙස සැලකෙයි.

රටේ දේශගුණය සම ශිතොෂ්ණ එකකි. වසර පුරාම ගස්වැල් ඵලබරව පවතී. නගරය ජනාවාස වී ඇත්තේ වරින් වර මේරට පැමිණි පිරිස නිසාවෙනි. එසේ පැමිණිමට නිතර නිතර මෙරටට පැමිණි වෙළදුන් හා ඔවුන්ගේ ප්‍රචාර ඉවහල් විය. මෙසේ පැමිණි ජනතාව සාමකාමිව දිවි ගෙවුහ.මෙයින් පෙනෙනේ වර්ථමානයේ රජරට දේශගුණය පිළිබඳව ප්‍රශ්න වලට මුහුන දුන්නත් පාහියන් භික්ෂුව පැමිණි සමයේ එවැනි දේශගුණයක් හෝ ජල ප්‍රශ්නයක් හෝ නොවු බවකි.

ලංකාව ජනාවාස විම ගැන සඳහන් කරන පාහියන් තුමා ලංකාවෙ ආදිම මනුෂ්‍යයන් නොවන බව සඳහන් කරයි. ඔවුන් යක්ෂ‍යන් හෝ නාගයන් වන බව සඳහන් කරයි.ඔවුන් පිටරටින් පැමිණි වෙළදුන් හා ගනුදෙනු කළහ. ඒ කර ඇත්තේ මෙසේය. යක්ෂයන් හා නාගයන් තමන්ට අයත් භාණ්ඩ වල මිල සළකුණු කර මුහුදු අයිනේ වෘක්ෂ යට සුරැකිව තබා යති. විදෙස් වෙළඳ කණ්ඩායම් එවාට අයත් මිල තබා භාණ්ඩ රැගෙන යති .පසුව ලංකාවේ සශ්‍රිකත්වය දැන ගත් වෙළෙන්දෝ මෙරටට පැමිණ ස්ථිරව පදිංචී වුහ .

එතුමා නගරය පුරා (අනුරාධපුර) සංචාරය කර අසා දැන ගත් පරිදි සිරිලක සිටි මුළු භික්ෂුන් වහන්සේලා ගේ සංඛයාව 6000ක් පමණ විය. එතුමා වැඩ විසු අභයගිරියේ පමණක් භික්ෂුන් වහන්සේ ලා 600 කට අධිකව වැඩ සිටියහ . චේතියගිරිය(මිහින්තලය ) වැඩ සිටි සියලු භික්ෂුන් වහන්සේලා ට සිව්පසය සපයන ලද්දේ රජතුමා විසිනි. පාත්‍රය රැගෙන පිණ්ඩපාතයේ වඩින සංඝයාට දානය නොවරදි. පාහියන් තුමාගේ මේ විස්තරය අතිශෝක්තියක් නොවන බව පෙනේ . හේතුව මහාවංශයේ සඳහ්න් අකාරයට මහාදාථික නාග රජු කල චේතියගිරියේ පමණක් 200 කට අධික භික්ෂුන්වහන්සෙලා වැඩ සිටි බව සඳහන් වීමය.

අභයගිරි විහාරය ගැන සඳහන් කරන එතුමාගේ විස්තරය වෙනත් කිසිදු විදේශිය හෝ දේශිය වාර්තාවක සඳහන් නොවන අපුර්ව එකකි. අභයගිරි විහාර භූමිය තුළ වටිනා මැණික් ඔබ්බන ලද රන් රිදි කැටයම් කළ අලංකාර බුද්ධ මන්දිරයක් විය. එහි හරිත වර්ණ මමන්තිකා විශේෂයකින් සාදවන ලද අඩි 20ක් පමණ වු උස්වූ බුදු පිළිමයකි. පිළිමයේ කාන්තිය දසත විහිදුවයි. බුදු පිළිමයේ දකුණතෙහි මහනර්ඝ මුතුඇටයක් විය.පාහියන් තුමා සඳහන් කරන මේ මාලිගය තවමත් හඳුනාගෙන නැත. අභයගිරි ස්ථුපය ගැන සඳහන් කරන් එතුම එය ඉදිකර ඇත්තේ බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ අවස්ථාවකදි පිහිටවු සිරිපතුලක් මත බව පවසයි.එය එතුමා අසා දැනගත් කථාවකි. අභයගිරිය ස්ථුපය අඩි 400 ක් උස්වු බව පවසයි.එසේම අභයගිරි මුලසුන අයත් බෝධිය දඹදිව බුද්ධගයාවේ ශ්‍රි මහා බෝධියේ බිජයක් ලෙස වැඩමවා රෝපනය කරන ලද්දක් බව සඳහන් කර ඇත.

පාහියන් තුමා විස්තර කරන දළදා පෙරහැර හා ප්‍රදර්ශණය ඉතා විසිතුරු එකකි. එය සැම වසරකම පසාම ඉතාම උත්සවශ්‍රියෙන් පවත්වන්නකි. දළදා මාලිගය පිහිටියේ ඇතුළු නුවරය. අභයගිරි විහාරය පිහිටා ඇත්තේ උතුරු දොරටුවෙන් පිටතය. දළදා මාලිගයේ සිට දළදා වහන්සේ මහා පෙරහැරකින් අභගිරියේ ප්‍රදර්ශන ශලාව වෙත වැඩම කරවයි. මෙම දළදා උත්සවයට පෙර එම ප්‍රවෘත්තිය අණබෙර කරුවෙකු විසින් නුවරුන් වෙත දැනුම් දෙන ලදි. අණබෙර කරු ගමන් කළේ ඇතෙකු පිටය. මොහු අති දක්ෂ කවියෙකු විය.

මහජනතාව වෙත දැනුම් දුන්පසු දළදාව වැඩමවන මාර්ගය නුවර වැසියෝ ශුද්ධ පවිත්‍ර කරති. පෙරහැර ගමන් කරන්නේ අණබෙර යවා දින 10කින් පසුවයි. පෙරහැර දින මුලු නගරයම එකම හිස් ගොඩකි. ඒ අතර මග දෙපස 550 ජාතකයේ සඳහන් කථාවලින් දැක්වූ චිත්‍ර වලින් අලංකාර වී තිබුනි. අභයගිරිය ප්‍රදර්ශන ශලා වෙත එලඹුණ දළදාව එහි දින 90 ක් තැන්පත් කර තැබේ. මේ කාලය තුල දිවා රාත්‍රී දළදා ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවති. ඉන්පසු එය අදාල මාලිගය වෙත වැඩමවනු ලැබේ. කෙසේ වෙතත් පාහියන් තුමා සඳහන් කරන මේ දළදා මාලිගාව සහ ප්‍රදර්ශන ශලාව තවමත් හඳුනාගෙන නොමැත්තකි. එය අභයගිරි පූජනීය පෙදෙසේ දෙවන සමාධි පිළිමය අසල පැවති බවට අනුමාන කෙරේ.

එකල ලංකාවේ පැවති සංඝාරමවල මිලකල නොහැකි තරම් වස්තු සහිත භාණ්ඩාගාරවු බව දේශාටන වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන විස්තර කරන එතුමා මෙසේ සඳහන් කරයි. මිහින්තලය අරාමය සතුවු භාණ්ඩාගාරය කොල්ලකැමට සොර රැළක් පැමිණි බවත් ඒ අවස්ථාවේදි සොරුන් විහාරාධිපති හිමියන්ට අසුවු බවත් ඉන්පසු විහාරාධිපති හිමියන් සොරුන්ට අහාර පාන වලින් සංග්‍රහ කොට පිටත්කර යැවු බවත්ය.

අභයගිරි විහාරයේ නැවති සිටි පාහියන් භික්ෂුව මහායානික අදහස් දැරූ භික්ෂුවක් වුවද හීනයානයට ද ගරු කල යතිවරයෙකු විය. මහාවිහාරයේ සහ මිහින්තලයේ වැඩ සිටි මහ තෙර දෙනමක් ගැන සඳහන් වේ . රහත් හිමිනමක් තරමටම සිල්වත්වු ධර්ම කීර්ති නම්වූ මහාතෙරනමකගේ අදාහන උත්සවයක් සඳහන් වේ. අදාහන ඵලකය සදා තිබුනෙ සඳුන් ශහ් දේවදාර ලියෙනි.ඒතුලින් වෙඬරු සහ ගිතෙල් ආදිය තවරා තිබුණි.චිතක දැල්වු පසු නුවරුන් තම අතේවු සළුපිලි අවාන් ඒතුලට දමන ලදි.

මිට අමතරව පාහියන් තුමාගේ විස්තරයේ අනුරාධපුර රජකු විසින් මහාවිහර භික්ෂුන් විෂයේ කළභූමි පුජාවක ද සඳහන් වේ ..විස්තරයට අනුව මංගල වෘෂභයින් දෙදෙනෙකු නගුලක ගැට ගසා සීමා ලකුණු කරන ලදි. ඒ සීමා බිමට අතුළු වු සියළු ගේ දොර හරක බාන අරාමයට අයත්විය.

වසර දෙකක් මෙරට වැඩවාසය කල පාහියන් භික්ෂුව ආපසු මලක්කා ජවා හරහා වෙළඳ නැවකින් තම මව් බිමට වැඩියහ.උන්වහන්සේගේ සංචාරයේ අරමුණ ඉටුවිය .ලංකාවේ රැස් කරගත් ධර්ම අතර මහීශාසක විනය දීර්ඝගාම සංයුක්තගාම, සන්නිපාත යන ග්‍රන්ථ විය.

1998 මුතුහර මාර්තු සඟරාවට මිග/බෝලවලාන මහ විදුහලේ අචාර්ය එච් එම් කොතලාවල ලියූ ලිපිය ඇසුරෙනි.

පාහියන් තුමා ලියු සම්පුර්ණ වාර්තාව මෙතැනින්ද ලංකාව ගැන විස්තරය මෙතැනින්ද බලාගත හැක.

 
3 Comments

Posted by on December 4, 2011 in ඉතිහාසය

 

Tags: , , , , , , ,

Gallery

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය.

මා වැනි             බිලින්දා
වර වර ලඟට          කැන්දා
දුක් සැප             කුමන්දා
අසන නිරිඳෝ වෙන   කොයින්දා

මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය.රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය . සිය ගුරු හිමියන් සමග නැකතට පොල් හිටවා ,රාහුල හිමි සිටවු පොල් පැළයේ යට ගෙඩි හටගත් බවත් කියනු ලැබේ . රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ .

රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුවා. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ .බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ ” යනුවෙන් ඇසුවේය, එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නැ ,හාමුදුරුවනේ මේකේ අටවකක් නැ එක වකයි තියෙන්නේ .මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි.විදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය.ඒ ගමනින්ම පුර හඳයි, පසලොස්වකයි පිළිගන්නා ලෙසදකියන ලෙස කිවේය.එය පිළිගත් නායක හාමුදුරුවන් අඩ සඳයි අටවකයි පිළිගත්තා යැයි කියා යැවුහ. රාහුල සාමණෙරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

විදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වති තෛලය නමින් බලගතු, දිව ගැ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය.එය කෙස් ගසකින් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. විදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ.නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය.අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වති තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි විදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය.එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

තවත් දිනයක මෙම ගුරුගෝල දෙදෙනා ගලක ඉන්නක් සිටුවියහැකි ඉතා බලගතු සුබ මොහොතක ඉණි සිටුවිමට සුදානම් වූහ.ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තබ පය ඇඟිලි අතර රඳවාගේන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

රහල් හිමියන් වීදාගම හිමියන් යටතේ ඉගෙන ගන්නා කාලයේදි ඉන්දියාවේ මගධ දේශයෙන් පැමිණි චන්ද්‍රභාරති නම් පඬිවරයෙක්ද විය.ඔහු වීදාගම හිමියන්ගෙන් ශිල්ප හදාරා ඉන්දියාවට ගොස් වසර කිහිපයකින් නැවතත් ලංකාවට පැමිනියේ චන්ද්‍රභාරති රචනා කල බෞද්ධ ශතකය නම් පොතත් දඹ රන් ගුලියක් රැගෙනයි. චන්ද්‍රභාරති ගුරු හිමියන්ට ගුරුපඬුරු දී තමා ගෙන ආ පොත පිළිගන්වා එම පොත පන්සලේ පොත්ගුලේ ඇද්දැයි විමසා සිටියේය.චන්ද්‍රභාරති එම පොත දක්වා තම විද්‍යාතනය උපහාසයට ලක්කිරිමේ උත්සාහයදැනගත් වීදාගම හිමියෝ සාමණේර හිමිනමක් අමතා වහා එම පොත තම පොත්ගුලේ තිබේදැයි බලන ලෙස කීහ.එ සමගම නෙතින් ඉඟියක් කර රාහුල හිමියන්ට එම පොත ලියාගන්නැයි කීහ.ඉන්පසු වීදාගම හිමියෝ එම පොත දැනගන්නට පඬිවරයාට එකින් එක කියවන ලෙස කීහ.පඩිවරයා එය කියවා අවසන්වනවාත් සමගම පොත සෙවීමට ගිය සාමණෙර නම පැමිණ ඇතුල කළු නොමැදපු පොතක් නම් තියනවා ” කියා නාහිමියන්ට දැනුම් දුන්නේය.තමා ලියූ පොතෙ අත්පිටපත පමණක් තමා ලඟ තියෙද්දි තවත් පොතක් පොත්ගුලේ තිබෙන්නේ කෙසෙදැයි ච්න්ද්‍රභාරති පුදුම වුයේය. දෙවැනි පොත රහල් හිමයන්ගේ වැඩකි.යමක් වරක් කිවිට මතකතබා ගැනිමෙ මහත් සහ්ක්තියක් එම හිමිනමට තිබුණි.වීදාගම හිමියෝ එම පොත කළු මැදගෙන එනලෙස කියා පඬිවරයාට ඉදිරිපත් කළේය.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට , සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය.උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියේන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය.රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්ත

විද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ. තවත් අවස්තාවක විහාරයේ මල් පූජාවට යන විට මලසුනේ යමෙක් නිදා සිටිනවා දුටු රහල් හිමියෝ අමුත්තාගේ සැරැටිය සහ ඔලගුව හංගා අවවාද කළේය. දේවතාවකු වූ අමුත්තා රාහුල හිමියන්ට සිද්ධාලෝක රසය හා දඹ රන් කෑල්ලක් පිදු බව කියැවේ.

රාහුල හිමියන්ගේ ප්‍රධාන ගෝලයවුයේ වෑත්තෑවේ හිමියන්ය.යම් සිදුවීමක් නිසා ගුරු ගෝල දෙදේනා අතර අමනාපයක් ගොඩ නැගුණි. ගුරු හිමියො ගෝලයා කෙරෙහි අසතුට පළකරනුවස් වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන තුන්පලකට පළා බෙදා ඉඟියක් කල බව පැවසේ. වෑත්තෑවේ හිමියන්ට මේ බව තේරුණි. නමුත් තමා කිසිවිටෙකත් ගුරුවු රාහුල හිමියන්ට ද්‍රොහි නොවන බවත් එසේ ද්‍රොහි වීමේන් ලැබේන ප්‍රතිඵල තම දන්නා බවත් පැවසිමට ගූත්තිල කාව්‍ය කල බවත් පැවසේ.එසේම මේ කාව්‍යය “සිය පින් සරින් සරු , දේතිස් ලකුනේන් විසිතුරු” යනුවෙන් කාව්‍ය ශාත්‍රයට අනුව වායුගණයෙන් ඇරඹිණ. ඒ අනුව රහල් හිමියන් අමතා “වෑත්තෑවේ මේ පැත්තේ නැව් නගී දැයි” කිවේලු. එලෙසින් වස් වැදුනු වෑත්තෑවේ හිමියන් නැව් නැග විදේශ ගත වූයේලු.

රාහුල හිමියන්ගේ අවසාන සමය අප්‍රකටය.. ඊට හෙතු වශයෙන් දැක්වෙන්නේ ශ්‍රි රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය රචනා කර සයවන පැරකුම්බා රජුගේ දියණිය වූ උලකුඩය දේවියට පුත් එඋවනක් ඉලා සිටියේය. ඒ අනුව ලැබුණු පුත්‍රයා සයවන පැරකුම්බා රජුගේ ඇවැමෙන් පසු ව ජයවීර පරාක්‍රමබාහු නමින් රජ වුවද සපුමල් කුමාරයා ඔහු මරා දමා සිහසුන ලබාගත්තේය.මේ සිදුවීමෙන් කලකිරුණු සිරි රහල් හිමියෝ තම තොටගමුව විහාරය හැර ඇල්පිටිය අම්බන නම් ගමක ගල්ගෙයක හුදකලාව වාසය කළ බව කියැවේ .සපුමල් කුමාරයාට එරෙහි වූ නිසා රහක් හිමියන් ඇල්ලිමට රාජපුරුෂයන් යැවු නමුත් රහල් හිමියෝ තම ගුප්ත විද්‍යාවෙන් බේරි ජිවත් වූ බව කියැවේ.
සිද්ධාලොක රසය වැළඳු නිසා හිමියන්ගේ මළ සිරුර දිරා පත් නොවූ බවත් පසුව ක්‍රිස්තුත් භක්තිකයන් විසින් ඉන්දියාවේ ගෝවට සිරුර ගෙන යන ලදි. අද දක්වා නිය කෙස් රැවුල් වැඩේමින් එහි දේවස්ථානයක ඇති ඒ සිරුර ප්‍රැන්සීස් සෙවියර් ශාන්තුවරයාගේ දේහය යැයි කියා ප්‍රදර්ශනයට තිබේ

 
5 Comments

Posted by on November 21, 2011 in ඉතිහාසය

 

Tags: , , , , , , , ,

Gallery

යකාට ගිය බෝංචි

අතිතයේ සමහර එළවළු වර්ගවලට ඉහළම සැලකිලි ලැබුණු නමුත් බෝංචිවලට සලකන ලද්දේ යකෙකු භුතයෙකු ලෙසිනි. සමහර රටවල පූජකයන්ට බෝංචි යන නම කීම පවා තහනම් විය. බෝංචි පැරැණිම එළවළුවක් ලෙස පිළිගැනිමක් තිබේ.මීට වසර තුන්දාහකට පෙර හීබෘවරු  බෝංචි  එළවළුවක් ලෙස දැන සිටියහ.

ඈත අතීතයේ ළුණු දේවත්වයෙන් සැලකු ඊජිප්තු වැසියන් අතර බෝංචි කෑමෙන් භුත දෝෂ වැළදෙන බවටත්, මොළය කරකවන බවටත් පිළිගැනිමක් තිබුණි. බෝංචි මල්වල සුවඳ වැදිම් මරණයට හේතුවක් විය හැකි යැයි මතයක්ද මුල් බැස ගෙන තිබුණි.බෝංචි වැවී ඇති තැන්වලින් යනවිට නහය වසාගෙන හෝ ඉවත බලාගෙන හෝ ලහි ලහියේ යෑමට ඔව්හු පුරුදුවි සිටියහ. නමුත් ඊජිප්තුවේ සමහරු පූජකවරුන්ගේ දේශනාවලට පිටුපා බෝංචි කෑමට පුරුදුව සිටියහ.

ග්‍රීක පුජක වරු ඊජිප්ප්තු පූජකවරුන්ටත් වඩා දරුණු ලෙස බෝංචිවලට විරුද්ධව ප්‍රචාර ගෙන ගියහ. යක්ෂයන් ද බෝංචිවලට බියවන බවත් ඔව්හු කිවොය. ක්‍රි.පු. 600 විසූ පයිතගොරස් මිය ගිය අයගේ ආත්මය බෝංචි වල තැන්පත් වී ඇති බව කිවේය. පයිතගරස් අනුගාමිකයෝ මේ මතයට කොතරම් ගරු කළා ද කීවොත් සමහරු බෝංචි කනවාට වඩා හිස් ගැසුම් කා මිය යැමට මැකි නොවුහ.ග්‍රීසියේ ඇවලොන් දෙවියන් සඳහා පැවති පූජාවක විශෙෂ තැනක් බෝංචි වලට හිමිවිය. පිසීමෙන් බෝංචි වලට ඇති දුර්බලවේග තුරන් වන බව සමහරු විශ්වාස කලහ.

රෝම වරුන්ගේ විශ්වාසයට අනුව අස්වැන්නට අධිපති සෙරස් දෙව්දුව මිනිසාට පැළෑටි තෑගි දීමේදි බෝංචි එළවළු අතර නොවන නිසා එය ඉවත් කල බව කියෑවේ. ප්ලිනිනම් රෝම ලෙඛකයාට අනුව බෝංචි කරලක් පුජා කිරිම යහපත ගෙන දෙන්නක් විය.මරණයක් වූ පසු ගෘහ මූලිකයාගේ බෝංචි කරල් කීපයක් තම හිසට උඩින් විසිකර මිය ගිය අයගේ නිවසේම රැඳී ඇත්නම් එය ඉවත් කළේය.ඒ හැර මළ ගෙදර කාටත් බෝංචි කරල බැගින් කෑමට ලබාදීමෙන් මියගිය ආත්මයෙන් කරදර නොවේයැයි සිතුවෝය.

 
Leave a comment

Posted by on November 20, 2011 in සමාන්‍ය

 
Gallery

ස්වයං භු හෙවත් මහා බ්‍රහ්ම – 1

සෝවියට් රුසියාවේ ස්ටෙප්ස් තෘණ භුමි ප්‍රදේශයේ එක් ජන කොට්ඨාශයක් ලෙස් දිවි ගෙවු ආර්යයෝ කල්යාමේදී අධික ජනගහනය නිසා කොටස් වශයෙන් කැඩී නව බිම් සොයා ගමනාරම්භ කළහ. එසේ ගිය කණ්ඩායමක් වර්ථමාන තුර්කිය හරහා ග්‍රීසිය, රෝමය ප්‍රදේශයන්ටත්, තවත් කණ්ඩායමක් ඉරානය අරාබිය ඔස්සේ වයඹ දිගින් ඉන්දියාවට ද පිවිසුණහ. මෙසේ පැමිණි ආර්යයෝ එවකට ස්වදේශිය ජනතාව යටත් කරගෙන ගංගා නිම්නයන්හී ස්ථිර පදිංචිය ඇතිකර ගත්හ.

මේ කාලය වනවිට ඔවූහූ කතාබහෙන්, කල්පනා ශක්තියෙන් පරිසරය පිළිබඳ දැනුමෙන් සතුන් ඇති කිරිම , ධාන්‍ය ගොවිතැන, ගොවි උපකරණ තැනිම, ගෙවල් සැදිම, පරිවහන කටයුතු පිළිබඳ දැන සිටියහ. එසේම ඔවූහූ ඉහළ අහසේ පෙනේන ඉර හඳ තාරකා වළාකුළු පියවි ඇසින් නැරඹූහ. තමනට වඩා විශාල ශක්තිමත් සත්වයන් අහසේ ඇතැයි ඔවුහු සිතූහ.ඒ නිසාම ඔවුන් කෙරේ බයත් ගෞරවයත් නිතැතින්ම ඇතිවිය.

වරින් වර ගංවතුර ඇතිවිය. නියඟය ඇතිවිය. රෝගවලට මනුෂ්‍යයන් මෙන් ම සතුන් ද ගොදුරු විය. මේ සියළුම දේ කරන්නේ නොපෙනෙනන් අහසේ සිටින විශාල සත්වයන් බව ඔවූහූ විශ්වාස කළෝය.ඒ නිසා එළිය කරන්නා ,අඳුරු කරන්නා, ජලය දෙන්නා ,අකුණු සැර යවන්නා, වශයෙන් ස්වාභාවික වස්තූන් පටබැඳ එවා අමතන්නටත් යදින්නටත් වූහ.
අහසේ පෙනෙන වස්තූන් හා පොළොවේ දකිනා මහා භූතයන්ට අයත් දේවල් පණ ඇති අය විසින් කරන කියනදේ ලෙස සිතා ගෙන ඒවා කරන කියන ඒ මහා පුද්ගලයන්ගේ විශාලකම් බල මහිමය සෙසු ජනයාට කියා තෝරා දෙන බහුශැත උගත් පිරිසක් බිහිවිය. ඔවුන් බ්‍රාහ්මණයන්ය. සෙස්සෝ ඔවුනට ගරු කළහ. ඒ අතර අහසෙහි දිළිසෙන දේවලට එම අදහසින් ම නම් දී  දෙවියන් නමින් කොටසක් සිටින බව ඔවූහූ සෙසු ජනයාට කීහ. ඔවුන්ට වැදුම් පිඳුම් කිරිම , යාගහෝම කිරිමෙන්  පිහිට ලැබෙන බව , බ්‍රාහ්මණයන් කී අතර ඔවුන්ගේ කාර්යය වූයේ ද දෙවියන්ට පුද පූජා පැවැත්වීමය.

බ්‍රාහ්මණයන් මෙසේ දෙවියන් යැදීමට ගීතීකා මන්ත්‍රවල නිතරම බ්‍රහ්ම යන වචනය අන්තර් ගත විය මුල් යුගයේ මෙසේ ව්‍යවහාර කළ  බ්‍රහ්ම යන පදයෙන් ස්ත්‍රී , පුරුෂ , නපුංසක ලිංග වශයෙන් ජිවබලයක් ඇති  ප්‍රාණය  ඇති සත්වයෙකු අදහස් කලේ නැත. බ්‍රහ්මන් යන  ශබ්දයෙහි යම්කිසි ගුප්ත බලයක් ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.කාලයාගේ ඇවෑමෙන්  මෙසේ විකාශය් වෙද්දි පූජකයාට යාග හෝම පැවැත්වීමේ ඥානයත් ශක්තියත් දෙවියන්ගෙන් ලැබෙනා විශෙෂ වරප්‍රසාදයක් ලෙස සැලකු අතර  ඒ දෙවියා බ්‍රහ්ම විය. බ්‍රාහ්මණයන්  මෙලොව කරන සියලුම කටයුතු බ්‍රහ්ම  නම් දෙවියකුගේ  බලයෙන්  කෙරෙන බවක් ඔවුන් විසින් අඟවන ලදි.

බ්‍රහ්ම සංකල්පය කල්යාමේදී එය තව තවත් පැතිරීයාමෙන් ලෝකය නිර්මාණය කළ මහා දෙවියා බ්‍රහ්මන් බවට හඳුන්වනු ලැබිණි. ලෝකයත් ලෝක ධාතුව තුළ ඇති සියලු දේත් බ්‍රහ්මන් ගේ මැවීමක් විය. ඔහු ස්වයම් භූ (තමාම උපන්) නම් විය.ඉන්දියාවේ බ්‍රහ්ම දර්ශනය පහළ වූයේ මේ අකාරයටය.බ්‍රහ්මවාදය පැතිරෙත්ම ඔවුන්ට පුද පූජා කළ බ්‍රාහ්මණයෝ සෙසු ජනයා අභිභවා ඉස්මතු විය. චතුර්වර්ණය හෙවත් කුලභේදය බිහිවූයේ මෙහි ප්‍රතිඵල හැටියටය. එනම් බ්‍රාහ්මණයන් බ්‍රහ්මයාගේ මුඛයෙනුත් ,ක්ෂත්‍රියන් පපුවෙනුත්, වෛශ්‍යයන් කලවයෙන්ද , ශුද්‍රයන් යටිපතුලෙන් ද මැවු බව ඔවුහු ලොවට ප්‍රකාශ කළහ. මේ නිර්මාණ වාදය ඍග්වේදයේ මෙසේ සඳහන් වේ.

බ්‍රාහ්මණෝ මුඛමාසිද් බාහු රාජණ්‍යඃ කෘතඃ ඌරු තදශ්‍ය යද් වෛශ්‍යඃපදන්‍යාම් ශුද්‍රෝ අජයන්

චතුර්වේදය බ්‍රහ්මයා විසින් දේශනා කළ දේ හැටියට බ්‍රාහ්මණයෝ හැඳින්වූහ.

දෙවන කොටස බලාපොරොත්තු වන්න 

 
1 Comment

Posted by on November 18, 2011 in ආගමික, ඉතිහාසය

 

Tags: , , , , , , , ,

 
%d bloggers like this: