RSS

Author Archives: muthuhara

බාලගිරි දෝෂය අද නොවේ හෙට

බොහොවිට  අර්ධනාගරිකව විශේෂයෙන් ග්‍රාමීයව නිවසක කාන්තාවක දරු උපතක් සිදුවු පසු නිවසට ඇතුලුවන උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” යන වැකිය ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම පැවත එන විශ්වාසයකි.

ගිරි දේවිය යනු කවරෙක්ද ? ඇය පිළිබඳ විස්තර රාශියක් ගිරිදෙවි අස්න , ගිරිදේවි උපත ,ගිරිදෙවි කව යන පොත පතින් දැනගත හැකිය. එම ග්‍රන්ථවල සඳහන් ආකාරයට ඇයගේ වගතුග මෙසේය. ඇය දඹදිව දන්ත්පුරයේ විසු සිංහකූමාර  රජු සහ ඇගේ දේවිය වූ හංසවති බිසවගේ දියණියක් වූවාය. ලමා අවදියේ  ඇය තමන් වැඩිමහල් සොහොයුරා වූ දල කුමාරයා සමග සංවාසයේ  යෙදෙන බව  දන්වන ලද්දේය.මේ පුවත අසා  සංවේගයට පත්  දෙමව්පියෝ කුඩා කුමරිය දළ කුමරාට නොපෙනේන සේ ගල්කුලක සඟවා කුඩා කලසිටම ආරක්ෂා කිරිමයි. මේ නිසා ඇය ගිරි දේවිය වුවාය.

තරුණ වියට පත් දළ කුමරාට මෙසේ ලෙනක සඟවා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අසන්නට ලැබුණේය. කීපවරක්ම බැලීමට අවසර ඉල්ලු නමුත් අවසර නොලැබිම නිසා දළ කුමරා බොරු ලෙඩක් හදා ගත්තේය. අවසානයේ අවසර ලැබිණි. ගිරි දේවිය  දැකිමෙන් උන්මාදයට පත්වූ දළ කුමරා කෙසේ හෝ ඇය පොළබවාගෙන  නිමිත්ත කී පාඨකයින් කී පරිදිම සංවාසයේ යෙදුනේය. ගිරිදෙවි අස්නේ එය මෙසේ දැක්වේ.

රන්දම් සේ අත්දෙක       අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ     ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම     සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු     කැන්දන

තම සොයුරා අතින්  කෙලෙසුනු නිසා ගිරි දේවිය අවසානයේදි දිවිනසා ගත්තාය.

එමට රුවැති බිසවුන්                    නැතිවද
මෙමට ආලේ කුමට                      සිතුවද
නමට උතුම් රජවලිය                 නොවේවද
මේමට කරපු දේ කිළුටක් නම්         නොවේද

ගෙළ  වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය . මේ වනවිට  ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සඟවන ලද්දේය. ඒනිසා ගිරිකුමරියගේ  සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකිවිය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස  ගම්බිම් පාළුකරමින්  සතුන් මරා දමමින් ගමන් කළේය .

සතර මෙසක්වල වටවිම       සාපී
හතර එදිවයින  ඇවිද          බලාපී
විතර මහත් කඳුහෙල්          පෙරලාපී
නිතර ගජන්  බිම ගසා          මරාපී

මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට  කුමරියගේ සිරුර පෙන්වා  පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ .

ඔසරි පොටෙන් ඇඟ ගත පිරි     මැදලා
තිසරු  ලෙසින් පියරු දෙක      දැකලා
වියරූ මතින් වත සිඹ  සන         සලා
කියති  ඉතින් දෙන් පණ       පිහිටාලා

ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා  වරක දෙවියෙකි වරක  යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම  වෙන්වූ  දේවාල ලංකාවේ  කිසි ස්ථානයක  නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල  පුද ලබති.

දළකුමරුට  සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක්  ඇත . එම බලය ලැබුනේ  තම එකකුසින්ම  උපන්  සොහොයුරිය  සමග සංවාසයේ යේදිම  නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ  ගරායාකා පුදකිරිම  සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට  ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.

ගිරිදේවිය මෙන්ම   ගරායක්ෂයා පිලිබඳව  ඇතැම් ග්‍රන්ථවල  අවතාර  12ක් සඳහන් වේ

   ගිරිලියෝ 12

     1 මදනගිරි                        2 හපුමල් ගිරි      3බාලගිරි      4 මෝලන් ගිරි   5භූතගිරි
    6 නීලගිරි           7 රත්නගිරි      8 හඳුන්ගිරි  9 පට්ටගිරි   10 කොටගිරි 11 අඳුන් ගිරි
12 වලියක් ගිරි
 මේසේ ගරායකුන්ද දොලොස් දෙනෙක් වේ
  1 අඳුන් ගරා 2 සොහොන්ගරා 3 දේසගරා  4 සඳුන් ගරා  5පුෂ්ප ගරා 6 කණ ගරා
 7 අමා ගරා 8 ලවුනා ගරා  9 වාතගරා  10 තොටය ගර නීලගරා

වැව් බැඳි රාජ්‍යයේ අනුරාධපුර – පොලොන්නරුව  ද්‍රිස්තිකවල අපූරු යාතුකර්මයක් තද ඉඩෝර කාලවල  වෙයි.  මෙය වර්ෂාව ලබා ගැනිමට කරන එකකි   . දළකුමාරයාගේ සහ  ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක්  අඹා  අඳුර වැටෙත්ම  දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි.   අනතුරුව කවි කීයමින් නටා  මොහොතකින් නිරුවත් රූප දෙක  එතැන හුදකලා  කර ගමට පියමං කරතී.  මෙය දළකූමාරයාගේ හ ගිරිදේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ

ගිර්දේවිය බලිය නිර්වස්ත්‍රව තබා යාමෙන්   මැටී රූදෙක කාටවත් ඇසගැසෙන්නට පෙර  සේදීයාමට  වර්ෂාවක් ඇදහෙලන බවය. මෙය තවමත්  රජරට වාසින් අතර පවතින විශ්වාසයකි.   අනූරාධපුර ත්‍රීකූණාමලය  මායිම් ගම්මානවල  යාන් ඔය  මහදිවුල්වැව  තිරප්පනේ කිවුලකඩවල කූඩා ගම්මානව කැලැපතර මේ යාතුකර්මය දැකිය හැක
    

 

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

සතර කෝරළයේ ලෙව්කේ රදල සෙංකඩගලපුර රාජධානි සමයේ සිංහල රාජ පරම්පරාවේ සමග ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වු රදල පරම්පරාවක් විය. රජාධිරාජසිංහ රජු මහනුවර රාජ්‍ය පාලනය කරන සමයේ මෙම රදළ පරපුරේ ප්‍රධාන රදළ යුවළට පුත්‍රයෙකු ලැබිණි. ඔහු ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ ය්නුවෙන් හඳුන්වනු ලැබීය. ළමා වියේ පටන්ම මේ පුත්‍රයාට දුනූ ශිල්පය ,කඩු ශිල්පය ,පොත්පත් පිළිබඳ ශාස්ත්‍රීය දැනුම හා යහපත් ගතිගුණත් ලබාදීම සඳහා දෙමව්පියෝ උත්සුක වූහ.තරුණවියට පත් ලෙව්කේ ආරෝහ පරිණාහ දේහයකින් යුක්ත කඩවසම් පුරුෂයකු විය. එසේම දක්ෂ මල්ලවපොර ශූරයෙකු ලෙසද ඔහු සිංහලය පුරාම ප්‍රසිද්ධ වී සිටියේය.

එකල මහනුවර දළදා මාළිගය ඉදිරිපිට මළුවේ සිංහල රජතුමා වාර්ෂිකව පැවැත්වු මල්ලවපොර තරගයක් විය.මෙයට මෙරට පමණක් නොව විදේශවලින්ද තරඟ කරුවෝ පැමිණියහ. මෙම තරඟාවලියට ලෙව්කේ ද ඉදිරිපත් වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ දකුණු ඉන්දියාවේ නමගිය මල්ලවපොරශූරයෙකි. සටනට පෙර දින දී සියලුම තරඟකරුවන්ට නැවතිමට කුටි,හොඳම අහාර පාන,සත්තු සප්පායම් සහිතව විවේක ගැනිමට කටයුතු යෙදුනි.

ලෙව්කේ කොට්ට පොල්ගෙඩි දෙකක් සහ ඇල්හාලේ බතක් පමණක් ඉල්ලා සිටියේය. කොට්ට පොල් ගෙඩි තම අතින්ම මිරිකා කිරි ගෙන කිරිත් සමග බත් අනුභව කරන්නට විය. ඉන්දීය මල්ලවපොර ශූරයා මෙය කරන්නට හැදු නමුත් එය කරන්නට නොහැකිවිය. ඉන්පසු ලෙව්කේ ඔහුටද කොට්ටපොලය මිරිකා කිරි ලබා දුන්නේය. මෙයින් අන්දමන්ද වූ ඉන්දීය ක්‍රීඩකයා පැයගණනාවක් කල්පනා කොට මෙවැන් දක්ෂයකු සමග කෙසේ සටන් කරමිදැයි සිතා පසුවදා පැදුරටත් නොකියා මහනුවරින් පැනගොස් තිබුනි.මේ පුවත පසුදා උදැසනම ලැව්ගින්නක් මෙන් රාජසභාවට පැතිරි තිබුණි.මේ පුවත ඇසූ සිංහලයෝ මෙන්ම රාජාධි රාජසිංහ රජතුමාද මහත් උද්දාමයට පත්විය. රජතුමා ලෙව්කේ මහවාසලට කැඳවා රටේ මහත්තයා යන ධූරය හා ගම්වරයක් පිරිනමන ලදී.

සිය රාජකාරිය නොපිරිහෙලා ඉටුකළ ලෙව්කේ තුමා එවකට  සෑබෑ මහජන  හිතෛෂි ප්‍රභුවරයෙකු ලෙස මුළු ලංකාද්වීපයෙම ගෞරවාදරය දිනාගත්තේය.ලෙව්කේගේ මුහුකුරා ගිය නුවණත් ,රාජපාක්ෂිකභාවයත් සිංහල රජතුමාගේ බලවත් සොම්නසට මෙන්ම ගෞරවයටද පාත්‍රවිය.

ඒනිසා ඔහුට  උප අධිකාරම් නිලයත් පසුව උඩරට සේනාවේ සෙනාධිපති ධුරයත් හිමිවිය.උඩරට සේනාධිපති දූරයට පත්වෙද්දි ලෙව්කේ  පිළිවෙලින් රජාධි රාජසිංහ , ශ්‍රි වික්‍රමරාජසිංහ  යන රජවරුන් යටතේ සේවය කිරිමට හැකිවිය.

ලෙව්කේ මැතිඳුන් පිළිබඳව අදපවා සත්කෝරලයේ ජනතාව අතර පවතින කතා රාශියක් ඇත. එම කතාවලට අනුව  ලෙව්කේ යෝධයෙකුට  සම කළ හැකි රූපකායක් තිබුනු පුද්ගලයෙකි. ගල්දුර ගමට නුදුරුව ඇති දන්කිරිගල රජමහාවිහාරය ඔහු විසින් කරවන ලද්දකි.දන්කිරිගල විහාරයේ ඇති පඩිපෙළ ලෙව්කේ මැතිදුන්ගේ  කායශක්තියෙන් කරනු ලැබුවක් බව මහජන විශ්වාසයක් පවති.ජනකවියක

ලෙව්කේ මැතිඳුන්ගේ රූපකාය මෙසේ දැක්වෙයි.

ඉඳගත්තම පිළිමය තිබ්බා                  වාගෙයි
නැඟිටපුවම වේපත බැන්දා                වාගෙයි
යන එන ගමන් විදුලිය කෙටුවා           වාගෙයි
ලෙව්කේ  මැතිඳු ගල් අතරට    කොත  වාගෙයි

සැමවිටම ආගමානුකූල ජිවිතයක් ගත කළ ලෙව්කේ තුමා ත්‍යාගශීලි අයෙක් මෙන්ම විනෝදකාමි අයෙක් ද් විය. තම ගම්මානයේ සහ සතර කෝරළයේ වැසියනුත් සහභාගි කරවා  ගනිමින් පැවතු ගම්මඩු උලෙළක් විය. එම ගම්මඩු උළෙල සතියක් පුරා පැවත්වූ අතර  එහිදි පාරම්පරික නැටුම් ගී , පුද පූජා සිරිත් විරිත් පවත්වා රටටත් ප්‍රදේශවාසින්ටත්  සෙත් පැතිම  කරන ලදි. ගම්මඩු උලෙළට  සහභාගිවූ සියලු දෙනාටම තැගි බෝග නොමසුරුව පිරිනැමිම  ඒතුමාගේ සිරිත විය. සමකාලින වියත් හිමිනමක් වූ කරතොට ධම්මාරාම  හිමිනම ලවා පිරුවානා පොත් වහන්සේ ලියවීම ලෙව්කේ මැතිඳුන් විසින් කරන ලද අගනා සාහිත්‍ය සේවයකි.

රාජ්‍යතාන්ත්‍රිකයෙඋ ,ජනප්‍රිය මහජන සේවකයකු  ව සිටි ලෙව්කේට ඊර්ෂ්‍යාකරයන්ගේන් ද අඩුවක් නොවිනි. විශේෂයෙන්ම පිළිමතලාවේ ප්‍රමුඛ බොහෝ සිංහල නායකයින්ගේ අපෙක්ෂාව වූයේ නායක්කාර් රාජවංශය එළවා දමා නැවත සිංහල රාජ වංශය  ස්ථාපිත කිරිමයි. ඒනිසා පිළිමතලාවේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු හා ලෙව්කේ සේනාධිපති අතර මිත්‍රත්වය් බිඳ දමා ඔහු රාජ්‍ය විරොධියෙකු ලෙස හංවඩු ගැසිමටත්  උත්සාහ ගත් භව  සර් පොල් ඊ පිරිස් විසින් රචිත ත්‍රී සිංහලේ  කෘතියේ සඳහන්වේ.  එහෙත් ලෙව්කේ සේනාධිපති තුමාගේ රාජ්‍ය පාක්ෂික භාවය  බිඳුවක් වත් අඩු නොවී පැවතිනි.

වාගොල්ලේදි සටන් මෙහෙයවූ  හැටි වැලිගල කිවියා විසින් ලියන ලද  ඉංග්‍රිසි හටන  නම් ප්‍රශස්ති  කාව්‍යයේ මෙසේ දැක්වේ.

සිව් කෝරළේ                  රට
දෙවා ලෙව්කේ           මැතිඳුට
රුපු වනසන                ලෙසට
හැර වදාලේ එම           දිසාවට

1803 දි සිංහලයන්ට වාගොල්ල සටනෙන් විශිෂ්ට ජයක් ලබාගත හැකිවිය, සටන මෙහෙය වූ මේජර් ඩේවි සිංහලයන් විසින් අල්ලගනු ලැබිය. ඉංග්‍රීසි හමුදාව සමග පැමිණි සිටි මුත්තුසාමි  කුමරා ශ්‍රි වික්‍රම රාජසිංහ රජුවිසින්  මරණයට  පැමිණවීය, වාගොල්ල  සටනේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අයත් පහතරට බළකොටුවලට පහරදී අල්ලා ගැනිමට  අදිටන් කරගත්තේය.

කොළඹට පහරදීමට කලින් හංවැල්ලෙ පිහිටි ඉංග්‍රිසි බලකොටුවක් පහර්දිමට ලෙව්කේ සහ රජුගේ අරමුණ විය.මේ අවස්ථාවේ හංවැල්ල  බලකොටුවේ  පොලොක් නම් කපිතාන් වරයා සංග්‍රාම උපායෙහි  දක්ෂවූ අයෙකු විය.

ඔහුගේ සේනාව  සටනට පැමිණි සිංහල සේනාවට දෙපැත්තකින් පහර දීම නිසා බොහො සිංහලයන් මරුමුවට පත්වූහ. කාලතුවක්කු ප්‍රහාර නිසා  හංවැල්ල  අසල මංමාවත් මළසිරිරුවලින් පිරිගියේය.   මේ දුටු ලෙව්කේ   ඉංගිසි සෙනාවේ  බලය වැඩි බව දැන සේනාව අපසු හරවා ගමන්ගත්තේය මේ අතර සටන් බිමේදි රජුගේ ලඟින් උණ්ඩයක් පුපුරා යෑම නිසා රජු තැති ගෙන පළා ගියේය.

තාමට පෙර  පැමිණ සිටි ලෙව්කේ දැක රජු කොපයට පත්විය. තමා ලඟින් පත්තුවූ වෙඩිල්ල ලෙව්කේගේ  කුමන්ත්‍රණයක් ලෙස සිතාගත්තේය. සේනාව නොමෙහෙයවා ,කැලණි ගගෙන් දියනා කුරුම්බාවක් බොමින්, විවේකීව සිටි වරදට ඔහු වහා මරණයට පත් කරන ලෙස රජු ඇන කළේය. රජතුම විසින් ලෙව්කේගේ හිස සිඳිමට අණ කළ විට සුළු වේලාවකින් බලකොටුව අල්ලා දෙන්නම් යනුවෙන් පැවසූවත් රාජ අණ වෙනස් නොවීය. වක් ඔය අසල කළු අග්ගල වෙල්යාය මැද  දී ලෙව්කේ දිසාවගේ හිස සිඳින ලදි.සැබවින්ම මෙහිදි සිදුවී ඇත්තේ බහිරවයාගේ පලිගැනිමකි.  ලෙව්කේ විසින් බැඳගෙන සිටි බහිරවයා ලෙව්කේගෙන් නිදහස් වීමට ලෙව්කේගේ වෙස් ගෙන  කැලණි ගං වැල්ලේ කුරුම්බ්බාවක් බොමින් සිටියේ රජු කුපිත කර ලෙව්කේ මරවා ඔහුගේ බන්ධනයෙන් මිදියාමටයි.


ලෙව්කේ ගේ මරණය ජනකවියකු විස්තර කරන ආකාරය.

පුන්සඳ සේම පායලා රට               මැද්දේ
රන්කෙඳි සේම පීරාලා පිට            මැද්දේ
මාර සෙනඟ වටකරගෙන යම        යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල   මැද්දේ

ලෙව්කේ දිසාවග හිස ගසා දැමිමේ සිද්ධිය සිහිවිට පසුකලෙක  එතැන කරවු සිහිවටන පුවරුවක් පැරණි සහ අලුත් අවිස්සවෙල්ල මාර්ගය සම්බන්ධ වන තැන දැකිය හැකිය.

ලෙව්කේ දිසාවගේ සිහිවටන පුවරුව (ස්තුතිය google earth)

ලෙව්කේ දිසාවගේ සිහිවටන පුවරුව (ස්තුතිය google earth)

 
6 Comments

Posted by on August 5, 2012 in සමාන්‍ය

 

Tags: , , , ,

පුරා වසර හැටහයක් ලෝකය මුලා කළ සුරංගනාවෝ

එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ  බ්‍රැඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී  දැරියන් දෙදෙනෙකි. මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කර සිටියහ. දෙදෙනා කුඩා  පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප ගත්හ.

එල්සි සහ ෆ්‍රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා අසල කුඩා සුරංගනාවියන්  ඉගිලෙමින් සිටිනු දක්නට ලැබිණි.එම ඡායාරූප  දුටු අය පුදුම වී  ඔවුන් දෙදෙනාගෙන් විමසුවිට ඔවුන් කීවේ  එවේලාවේ ලස්සන සුරංගනාවියන් තමන් වටේ නටමින් සිටි බවයි.

මෙම ඡායාරූපය පිළිබඳ ඒ කාලයේදි එංගලන්තය මහත් ආන්දෝලනයක් ඇතිවිය.ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ද මේ පිළිබඳව සොයා බැලිම සඳහා යොක්ෂයර් ප්‍රාන්තයට පැමිණියහ . මේය අසත්‍යක් බව ඔප්පු කිරිම සඳහා බොහෝ දෙනෙක් උත්සාහ කල නමුත්   කිසිවෙකුට එසේ කිරිමට නොහැකි විය.  අවසානයේදි  අති දක්ෂ ඡායාරූප ශිල්පින් පවා මේ ඡයාරූප පරික්ෂනයට ලක් කළහ. ඔවුන් කියා සිටියේ එම ඡායාරූප සත්‍ය ඡායාරූප  බවයි. ප්‍රධාන  පෙළේ දළ සේයාපට නිපදවන සමාගම්ද මේ ඡායාරූප සත්‍ය බව දිවුරා සිටියේය.

ලෝ ප්‍රකට රහස් පරික්ෂක චරිතය වූ ෂර්ලොක් හොම්ස්  නිර්මාණය  කළ සර් ආතර් කොනන් ඩොයිල් පවා මේ  ඡයාරූප  සත්‍ය බව  පිළිගත්තේය. එල්සි සහ ග්‍රාන්සස්ට ඇත්ත වශයෙන්ම සුරංගනාවන් හමූවී ඇති බවක් මේ අනුව මුළු ලොවම පිළිගත්තේය.සර් ආතර් කොනන් ඩොයිල් “සුරංගනාවන්ගේ පැමිණිම ” නමින් පොතක් ද ලිව්වේය

Backgr

Cottingley_2

Cottingley_4

මෙම සිදුවීම සිදුවි පුරා වසර 65 ගතවන තුරුම මේ පුවත වරින් වර ලෝකයේ සෑම රටකම  වාගේ පුවත් පත් සඟරාවල පළවිය . එහෙත් 1983 වසරේදි වයස් ගත මිත්තණියන් දෙදෙනුකු වි සිටි ඔවුන් කියා සිටියේ  තමන් ඒ වනතුරු  ලොව රවටා සිටි බවයි. චිත්‍ර ඇඳිමට දක්ෂ  එල්සි ඝණ  කඩදාසි වල  ඇඳ කපාගත් සුරංගනාවන්  දොළපාරේ අයිනේ වූ ගස්වල එල්ලා තබා ඒ  මැදට වී තමන් ඡායාරූප ගත් බවය. එක් එක් ඡයාරූපයෙදි  සුරංගනාවන්ගේ  තැන මාරු කොට තැබිමටත් ඔවුන් වගබලාගත් බවට කියා සිටියහ.

පුරා වසර 66  ලෝකය මුලාවට පත් කළ සුරංගනා කතාව එතැනින් අහවර විය .

 

 

 
Leave a comment

Posted by on August 5, 2012 in සමාන්‍ය

 

ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය…
බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.
සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං”

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා  වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය. ”ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල
මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න”

තරුණයා කදුළු පිරි දෑසින්
කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

ස්තුතිය එලකිරි  sasliit  සහොදරයාට

 
3 Comments

Posted by on May 5, 2012 in සමාන්‍ය

 

Tags: , , , ,

Gallery

සිංහල තේරවිලි -1

තේරවිලි යන්න ශ්‍රැති හෙවත් ශ්‍රවණය මුල් කරගත් ජනශ්‍රැතියට අයත් එක අංගයකි.ජන කවිය, ජන කතාව , ජන ක්‍රිඩාව ,ජන ආගම , ජන ප්‍රවාද ,ප්‍රස්තාපිරුළු ආදිය ජනශ්‍රැතියේ සෙසු අංගයෝ වෙත්.තේරවිලි යන්නට ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි අර්ථ නිරූපණය කොට ඇත්තේ ප්‍රහෙලිකාව ,පිළිතුරු දෙන්නට අපහසු ප්‍රශ්නය,පටලැවිලි සහිත ප්‍රශ්නය ලෙසය. තොරා දිය යුතු දෙය , අර්ථය සැඟවුණු කියමන හෝ වාක්‍යය හෝ කවිය , ප්‍රහේළිකාව යනුවෙන් ප්‍රායොගික සිංහල ශබ්ද කොෂයේහි තේරවිල්ල අර්ථ දක්වා තිබේ . නූතන භෂාවේදියකු වන මහාචාර්ය ජේ බි දිසානායකයන් තේරවිල්ල හඳුන්වන්නේ ගැට ගැසු පද කැටිය ලෙසය. වැඩිදුරටත් අදහස් දක්වන ඔහු ගැට ගසා ඇති පදවලින් කියා ඇත්තේ කුමක්ද කියා තේරිය යුතු නිසා එය තේරවිල්ල යන නම ලබයි යනුවෙන් සඳහන් කරයි.

මේ අනුව තේරවිල්ලේ මාධ්‍යය ඒ ඒ සමාජයේ ව්‍යවහාර බස බව පැහැදිලිය . ඒ අනුව තේරවිලි විමසිම හා ඒ සඳහා පිළිතුරු දීම සිදු කෙරෙන්නේ බසෙහි පද අනුසාරයෙනි. ‘ශ්‍රැතිය’ ජන ශ්‍රැතියේ ආත්මය වන නිසා අතිතයේ ‘තෙරවිල්ල’ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මුඛ පරම්පාරවෙන්ම පැවත එන්නක් විය, එහෙත් වර්තමානයේ තේරවිලි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් මඟින් සංරක්ෂණය වී තිබේ. ඒ අනුව තේරවිල්ල තවදුරටත් ජනශ්‍රැතියාංගයක් වන්නේද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි. ව්‍යවහාර බස අනුව මෙහි විමසිල්ලට ලක් කරන තෙරවිලි ආශ්‍රිත කරුණු හා තෙරවිලි ‘සිංහල තෙරවිලි ‘ ලෙස හැදින්විය හැකිය .

Read the rest of this entry »

 

Tags: , , , ,

Gallery

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ රසවත් කතා

සිරිලක අවසාන සිංහල නරපතියා වූයේ ක්‍රි ව 1707-1739 දක්වා කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය.මොහු දෙවන විමලධර්මසූරිය රජුගේ හා වත්තේගම වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කුමරියගේත් පුත්‍රයාය. මහනුවරින් පිටත කුණ්ඩසාලේහි රජවාසල පිහිටුවා ගත් බැවින් කුණ්ඩසාලේ රජ යන නමද ව්‍යවහාර විය. රජු සුරාව , ස්ත්‍රී ඇසුර ,විනෝදය අගය කළ කෙළිලොල් රජෙකු විය. ඒ නිසාම පොදු ජනයා රජු හැඳින්වුයේ සෙල්ලම් නිරිඳු යනුවෙනි.දඩබ්බර ජිවිතය නිසාම රජුට විරුද්ධව කැරලි කුමන්ත්‍රණ බහුලව ඇතිවිය.`

වරක් දාමරික පිරිසක් විසින් මෙතුමා සිහසුනින් නෙරපා දැමිමට කුමන්ත්‍රණයක් කරන ලද්දේය. දිනක් මහමළුවේ ඇත්පොරයක් පිළියෙළ කරනු ලැබිණි. රජු එය බැලිමට පැමිණි පසු හදි පෙරළි කිරිමට වඩුග පෙලපත් වලින් පැවත එන පිරිසක් විසින් උපායක් යොදා තිබෙන බව මහවාසල ඇතුළු නිළමක්කාරයන්ට රජුගේ චරපුරුෂයන්ගෙන් දැනගන්නට ලැබී ඔවූහු රහසින් රජුට සැළකලෝය. නරේන්ද්‍රසිංහ රජු තම කුළුපග අතවැසියන් වු රන්නැකාරාළ,හිනටිකුඹුරේ රාළ ,දස්කොන් රාළ ,මැදන්වල රාළ ආදි හිතවතුන්ගේන් උඩුදුම්බරට ගොස් කුමන්ත්‍රණ කාරයන් ලුහුබඳවා තලවින්නේ දී අල්ලා මරා දැමුහ.

නරේන්ද්‍ර සිංහරජු සෙංගඩකලපුරය හඟුරන්කෙත තම අගනුවර කර ගත්තේය.මෙම රජු නැටුම් ගැයුම් වල ආරක්ෂාවටත් රජයේ කටයුතු සඳහාත් හමුදාවක් ඇති කළේය.ගොවිතැන දියුණු කිරිමට මේ රජු විශාල උත්සාහයක් දැරුවේය, දඹේවෙල වැව ,මහවැව, පිලව කොට්ට වැව,දම්බරාව වැව තනවා ,දම්බරාවේ වෙල්යාය අස්වද්දවා ගොවිතැන් දියුණු කළේය.

Read the rest of this entry »

 
 

Tags: , ,

Gallery

ටූටන්කාමුන්ගේ ශාපය

මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යයක් ම වූයේය.ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.”

ටූටන්කාමුන් ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මතභේදයකි.ඒ ඔහු මරණයට පත්වූ ආකාරය තවමත් අපැහැදිලිය.ඔහුගේ පියාවන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු 9 දි රජකමට පත්වූ ඔහු ක්‍රි.පූ 1336 සිට ක්‍රී පූ 1327 දක්වා ඔහු ඊජිප්තුව පාලනය කළේය..ටූටන්කාමන් මරණයට පත්වන විට ඔහුගේ වයස 18ක් පමණ විය. දැනට බොහෝදෙනෙකු පිලිගත් මතයට අනුව ටුටන් කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකිනි.

Read the rest of this entry »

 
12 Comments

Posted by on December 11, 2011 in ඉතිහාසය

 

Tags: , , , , , ,

Gallery

දේශාටනයේ යෙදුණු පාහියන් භික්ෂුව ලංකාව ගැන ලියයි

උතුරු දිග චීනයේ ෂාංහයි ජනපදයේ එක්තරා ගොවිපවුලකට පිරිමි දරුවන් සතර දෙනෙකු විය. යොවුන් වියට පත්වෙද්දී මෙකී දරුවන්ගෙන් වැඩිමහල් තිදෙනා අකාලයේ මියඇදුනෝය. මෙයින් මහත්සේ බියට පත්වූ දෙමව්පියන් “කුං ශේ” බුදුසසුනට පුජා කළෝය. කුං ශේ ගේ පැවිදි නම වූයේ පාහියන් ය. පාහියන් යන්නේහි අර්ථය ධර්මය බබලවන්නා යන්නයි.නාමයට ගැලපෙන පරිද්දෙන්ම උන් වහන්සේ සාමනේර අවධිය පටන්ම අතිමහත් චිත්ත ධෛර්යයකින් හෙබි භික්ෂුන් වහනසේ කෙනෙකු ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්විය.

පාහියන් තුමාගේ ගමන් මග

පාහියන් තුමාගේ ගමන් මග

පැවිදි වියේ මුල් අවධියේ සිටම උන් වහන්සේ ආදර්ශමත් විනය ගරුක යතිවරයෙකු විය. එතුමා තුල පහල වු බලාපොරොත්තුවක් වුයේ රටරට වලට ගොස් හැකිතරම් ධර්ම කරුනු රැස් කිරිමයි. ඒ සඳහා ගෞතම බුදුන්වහන්සේ උපන් ඉන්දියාවට පැමිණිම තිර අදිටනක් විය. අවස්ථා ගණනකදි උන් වහන්සේ මේ කාර්‍ය ඉටුකර ගැනිම සඳහා සූදානම් වුවද අතහැර දමන්නට සිදුවිය. නොපසුබටනා විර්යයෙන් පිරිපුන් එතුමා බාධක මැද තම අභිලාෂය ඉටු කර ගත්තේය.පුදුමයට කරුණ වන්නේ ඒ වන විටත් තුමාගේ වයස 65ක් ඉක්මවීමයි.

ක්‍රි ව 399 දි එතුමා තම සංචාරය ආරම්භ කල බව දැක්වේ. ඊට සහභාගි වු ගණන 10 කි.ගමන සඳහා කණ්ඩායම තොරාගත්තේ පහසු මාර්ගයක් නොවේ. මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරය හරහා වූ අති දුෂ්කර මාර්ගයකි. ඇත්තේන්ම එය බිහිසුනු ගමනකි. වැලි කුණාටු අධික උෂ්නත්වය (දිවා සමය) අධික ශීතල (රාත්‍රිය) වැනි දේශගුණික හේතු , රළු මාර්ග ,මං පහරන්න සොරුන්ගේ කරදර මධ්‍යයේ මේ පිරිස ගාන්ධාරය හරහා පුරුෂ පුර තක්ෂිලා පසු කරමින් උතුරු ඉන්දියාවේ මගධය පැමිණියහ

එය ඉන්දියාවේ ගුප්ත පරපුරේ II වන චන්ද්‍ර ගුප්ත රජ සමයයි. මෙකල ඉන්දියාවේ ස්වර්ණමය කාලපරිච්ඡේදයකි. 6 අවුරුද්දක් උන් වහන්සේ ඉන්දියාවේ ගත කළහ. බුදුන් වහන්සේ ජිවමානව වැඩ සිටි සියළු ස්ථාන වැඳ පුදා ගත් උන් වහන්සේ බොහෝ ධර්මග්‍රන්ථ පරිශීලනය කර එවා පිටපත් කර ගත්තේය.පසුව ත්‍රාම්ලිප්ති නැව්තොටින් ගොඩනැගුනු පිරිස දින 14ක ගමනකින් පසුව ලංකාවට ගොඩබට බව සඳහන් වේ. එකල අනුරාධපුර රාජධානි සමයයි.මහානාම රජු (ක්‍රිව 409-31) එකල මෙරට පාලනය කළ රජුය. පාහියන් තුමාට මහානාම රජුගේ අනුග්‍රහය යටතේ වැඩ සිටිමට අරාධනා ලැබුනේ අභයගිරි විහාරයේය.

කෙසේ වෙතත් එතුමා මෙරටට පැමිණි සමය සිහසුන සම්බන්ධව කැළඹිලි සහිත සමයක් විය. මහානාම රජතුමා ඉතාමත් ධාර්මික රජෙකු විය. එතුමා සිහසුනට පත්වීමට පෙර පැවිද්දෙකු විය. නමුත් එතුමා ගේ අගබිසව රජුගේ සොහොයුරා වූ උපතිස්ස සමග තිබු මිත්‍ර සම්බන්ධයක් ඇසුරෙන් කුමන්ත්‍රණයකින් රජුමරා දම සිහසුනට පත්විය.මේ පාහියන් හිමියෝ ලංකාවේ සිටි සමයේ පැවති දේශපාලන ක්‍රියාවලියයි.

පාහියන් භික්ෂුව මෙරට වසර 2ක් නැවති සිටියේය. රාජධානිය පුරා ඇවිද්දේය.අභයගිරි මෙන්ම මහාවිහාර භික්ෂුන් ආශ්‍රය කළේය. තමා ඇසින් දුටු හා ඇසූ තොරතුරු සටහන් කරගත්තේය.එතුමාගේ දේශාටන වාර්තාවේ ලංකාවේ පිහිටිම දේශගුණය මෙරට ජනාවාස වු අකාරය අභයගිරිය ස්ථුපය ,මහ විහාරය ඇතුළු ගොඩනැගිලි, දළදා පෙරහැර,චේතියගිරිය යන ප්‍රදේශ විශේෂයෙන් දක්වා තිබේ.

පාහියන් තුමාගේ සටහන අනුව මෙරට මුහුදු සිමාවේ සිට සැතපුම් 40ක් දක්වා දූපත් රජුට අයත්විය. ඒවා පාලනය කලේ රජු විසින් පත්කල නිලධාරින් මඟිනි. පාලනය ඉතාමත් ධාර්මිකය තෙරුවන් කෙරේ ඉමහත් භක්තියක් ඇත. එතුමා සමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කෙරේ ඉමහත් සැලකිල්ලක් දක්වයි. එතුමා සඳහන් කල මේ රජු මහානාම රජු ලෙස සැලකෙයි.

රටේ දේශගුණය සම ශිතොෂ්ණ එකකි. වසර පුරාම ගස්වැල් ඵලබරව පවතී. නගරය ජනාවාස වී ඇත්තේ වරින් වර මේරට පැමිණි පිරිස නිසාවෙනි. එසේ පැමිණිමට නිතර නිතර මෙරටට පැමිණි වෙළදුන් හා ඔවුන්ගේ ප්‍රචාර ඉවහල් විය. මෙසේ පැමිණි ජනතාව සාමකාමිව දිවි ගෙවුහ.මෙයින් පෙනෙනේ වර්ථමානයේ රජරට දේශගුණය පිළිබඳව ප්‍රශ්න වලට මුහුන දුන්නත් පාහියන් භික්ෂුව පැමිණි සමයේ එවැනි දේශගුණයක් හෝ ජල ප්‍රශ්නයක් හෝ නොවු බවකි.

ලංකාව ජනාවාස විම ගැන සඳහන් කරන පාහියන් තුමා ලංකාවෙ ආදිම මනුෂ්‍යයන් නොවන බව සඳහන් කරයි. ඔවුන් යක්ෂ‍යන් හෝ නාගයන් වන බව සඳහන් කරයි.ඔවුන් පිටරටින් පැමිණි වෙළදුන් හා ගනුදෙනු කළහ. ඒ කර ඇත්තේ මෙසේය. යක්ෂයන් හා නාගයන් තමන්ට අයත් භාණ්ඩ වල මිල සළකුණු කර මුහුදු අයිනේ වෘක්ෂ යට සුරැකිව තබා යති. විදෙස් වෙළඳ කණ්ඩායම් එවාට අයත් මිල තබා භාණ්ඩ රැගෙන යති .පසුව ලංකාවේ සශ්‍රිකත්වය දැන ගත් වෙළෙන්දෝ මෙරටට පැමිණ ස්ථිරව පදිංචී වුහ .

එතුමා නගරය පුරා (අනුරාධපුර) සංචාරය කර අසා දැන ගත් පරිදි සිරිලක සිටි මුළු භික්ෂුන් වහන්සේලා ගේ සංඛයාව 6000ක් පමණ විය. එතුමා වැඩ විසු අභයගිරියේ පමණක් භික්ෂුන් වහන්සේ ලා 600 කට අධිකව වැඩ සිටියහ . චේතියගිරිය(මිහින්තලය ) වැඩ සිටි සියලු භික්ෂුන් වහන්සේලා ට සිව්පසය සපයන ලද්දේ රජතුමා විසිනි. පාත්‍රය රැගෙන පිණ්ඩපාතයේ වඩින සංඝයාට දානය නොවරදි. පාහියන් තුමාගේ මේ විස්තරය අතිශෝක්තියක් නොවන බව පෙනේ . හේතුව මහාවංශයේ සඳහ්න් අකාරයට මහාදාථික නාග රජු කල චේතියගිරියේ පමණක් 200 කට අධික භික්ෂුන්වහන්සෙලා වැඩ සිටි බව සඳහන් වීමය.

අභයගිරි විහාරය ගැන සඳහන් කරන එතුමාගේ විස්තරය වෙනත් කිසිදු විදේශිය හෝ දේශිය වාර්තාවක සඳහන් නොවන අපුර්ව එකකි. අභයගිරි විහාර භූමිය තුළ වටිනා මැණික් ඔබ්බන ලද රන් රිදි කැටයම් කළ අලංකාර බුද්ධ මන්දිරයක් විය. එහි හරිත වර්ණ මමන්තිකා විශේෂයකින් සාදවන ලද අඩි 20ක් පමණ වු උස්වූ බුදු පිළිමයකි. පිළිමයේ කාන්තිය දසත විහිදුවයි. බුදු පිළිමයේ දකුණතෙහි මහනර්ඝ මුතුඇටයක් විය.පාහියන් තුමා සඳහන් කරන මේ මාලිගය තවමත් හඳුනාගෙන නැත. අභයගිරි ස්ථුපය ගැන සඳහන් කරන් එතුම එය ඉදිකර ඇත්තේ බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ අවස්ථාවකදි පිහිටවු සිරිපතුලක් මත බව පවසයි.එය එතුමා අසා දැනගත් කථාවකි. අභයගිරිය ස්ථුපය අඩි 400 ක් උස්වු බව පවසයි.එසේම අභයගිරි මුලසුන අයත් බෝධිය දඹදිව බුද්ධගයාවේ ශ්‍රි මහා බෝධියේ බිජයක් ලෙස වැඩමවා රෝපනය කරන ලද්දක් බව සඳහන් කර ඇත.

පාහියන් තුමා විස්තර කරන දළදා පෙරහැර හා ප්‍රදර්ශණය ඉතා විසිතුරු එකකි. එය සැම වසරකම පසාම ඉතාම උත්සවශ්‍රියෙන් පවත්වන්නකි. දළදා මාලිගය පිහිටියේ ඇතුළු නුවරය. අභයගිරි විහාරය පිහිටා ඇත්තේ උතුරු දොරටුවෙන් පිටතය. දළදා මාලිගයේ සිට දළදා වහන්සේ මහා පෙරහැරකින් අභගිරියේ ප්‍රදර්ශන ශලාව වෙත වැඩම කරවයි. මෙම දළදා උත්සවයට පෙර එම ප්‍රවෘත්තිය අණබෙර කරුවෙකු විසින් නුවරුන් වෙත දැනුම් දෙන ලදි. අණබෙර කරු ගමන් කළේ ඇතෙකු පිටය. මොහු අති දක්ෂ කවියෙකු විය.

මහජනතාව වෙත දැනුම් දුන්පසු දළදාව වැඩමවන මාර්ගය නුවර වැසියෝ ශුද්ධ පවිත්‍ර කරති. පෙරහැර ගමන් කරන්නේ අණබෙර යවා දින 10කින් පසුවයි. පෙරහැර දින මුලු නගරයම එකම හිස් ගොඩකි. ඒ අතර මග දෙපස 550 ජාතකයේ සඳහන් කථාවලින් දැක්වූ චිත්‍ර වලින් අලංකාර වී තිබුනි. අභයගිරිය ප්‍රදර්ශන ශලා වෙත එලඹුණ දළදාව එහි දින 90 ක් තැන්පත් කර තැබේ. මේ කාලය තුල දිවා රාත්‍රී දළදා ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවති. ඉන්පසු එය අදාල මාලිගය වෙත වැඩමවනු ලැබේ. කෙසේ වෙතත් පාහියන් තුමා සඳහන් කරන මේ දළදා මාලිගාව සහ ප්‍රදර්ශන ශලාව තවමත් හඳුනාගෙන නොමැත්තකි. එය අභයගිරි පූජනීය පෙදෙසේ දෙවන සමාධි පිළිමය අසල පැවති බවට අනුමාන කෙරේ.

එකල ලංකාවේ පැවති සංඝාරමවල මිලකල නොහැකි තරම් වස්තු සහිත භාණ්ඩාගාරවු බව දේශාටන වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන විස්තර කරන එතුමා මෙසේ සඳහන් කරයි. මිහින්තලය අරාමය සතුවු භාණ්ඩාගාරය කොල්ලකැමට සොර රැළක් පැමිණි බවත් ඒ අවස්ථාවේදි සොරුන් විහාරාධිපති හිමියන්ට අසුවු බවත් ඉන්පසු විහාරාධිපති හිමියන් සොරුන්ට අහාර පාන වලින් සංග්‍රහ කොට පිටත්කර යැවු බවත්ය.

අභයගිරි විහාරයේ නැවති සිටි පාහියන් භික්ෂුව මහායානික අදහස් දැරූ භික්ෂුවක් වුවද හීනයානයට ද ගරු කල යතිවරයෙකු විය. මහාවිහාරයේ සහ මිහින්තලයේ වැඩ සිටි මහ තෙර දෙනමක් ගැන සඳහන් වේ . රහත් හිමිනමක් තරමටම සිල්වත්වු ධර්ම කීර්ති නම්වූ මහාතෙරනමකගේ අදාහන උත්සවයක් සඳහන් වේ. අදාහන ඵලකය සදා තිබුනෙ සඳුන් ශහ් දේවදාර ලියෙනි.ඒතුලින් වෙඬරු සහ ගිතෙල් ආදිය තවරා තිබුණි.චිතක දැල්වු පසු නුවරුන් තම අතේවු සළුපිලි අවාන් ඒතුලට දමන ලදි.

මිට අමතරව පාහියන් තුමාගේ විස්තරයේ අනුරාධපුර රජකු විසින් මහාවිහර භික්ෂුන් විෂයේ කළභූමි පුජාවක ද සඳහන් වේ ..විස්තරයට අනුව මංගල වෘෂභයින් දෙදෙනෙකු නගුලක ගැට ගසා සීමා ලකුණු කරන ලදි. ඒ සීමා බිමට අතුළු වු සියළු ගේ දොර හරක බාන අරාමයට අයත්විය.

වසර දෙකක් මෙරට වැඩවාසය කල පාහියන් භික්ෂුව ආපසු මලක්කා ජවා හරහා වෙළඳ නැවකින් තම මව් බිමට වැඩියහ.උන්වහන්සේගේ සංචාරයේ අරමුණ ඉටුවිය .ලංකාවේ රැස් කරගත් ධර්ම අතර මහීශාසක විනය දීර්ඝගාම සංයුක්තගාම, සන්නිපාත යන ග්‍රන්ථ විය.

1998 මුතුහර මාර්තු සඟරාවට මිග/බෝලවලාන මහ විදුහලේ අචාර්ය එච් එම් කොතලාවල ලියූ ලිපිය ඇසුරෙනි.

පාහියන් තුමා ලියු සම්පුර්ණ වාර්තාව මෙතැනින්ද ලංකාව ගැන විස්තරය මෙතැනින්ද බලාගත හැක.

 
3 Comments

Posted by on December 4, 2011 in ඉතිහාසය

 

Tags: , , , , , , ,

Gallery

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය.

මා වැනි             බිලින්දා
වර වර ලඟට          කැන්දා
දුක් සැප             කුමන්දා
අසන නිරිඳෝ වෙන   කොයින්දා

මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය.රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය . සිය ගුරු හිමියන් සමග නැකතට පොල් හිටවා ,රාහුල හිමි සිටවු පොල් පැළයේ යට ගෙඩි හටගත් බවත් කියනු ලැබේ . රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ .

රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුවා. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ .බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ ” යනුවෙන් ඇසුවේය, එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නැ ,හාමුදුරුවනේ මේකේ අටවකක් නැ එක වකයි තියෙන්නේ .මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි.විදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය.ඒ ගමනින්ම පුර හඳයි, පසලොස්වකයි පිළිගන්නා ලෙසදකියන ලෙස කිවේය.එය පිළිගත් නායක හාමුදුරුවන් අඩ සඳයි අටවකයි පිළිගත්තා යැයි කියා යැවුහ. රාහුල සාමණෙරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

විදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වති තෛලය නමින් බලගතු, දිව ගැ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය.එය කෙස් ගසකින් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. විදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ.නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය.අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වති තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි විදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය.එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

තවත් දිනයක මෙම ගුරුගෝල දෙදෙනා ගලක ඉන්නක් සිටුවියහැකි ඉතා බලගතු සුබ මොහොතක ඉණි සිටුවිමට සුදානම් වූහ.ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තබ පය ඇඟිලි අතර රඳවාගේන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

රහල් හිමියන් වීදාගම හිමියන් යටතේ ඉගෙන ගන්නා කාලයේදි ඉන්දියාවේ මගධ දේශයෙන් පැමිණි චන්ද්‍රභාරති නම් පඬිවරයෙක්ද විය.ඔහු වීදාගම හිමියන්ගෙන් ශිල්ප හදාරා ඉන්දියාවට ගොස් වසර කිහිපයකින් නැවතත් ලංකාවට පැමිනියේ චන්ද්‍රභාරති රචනා කල බෞද්ධ ශතකය නම් පොතත් දඹ රන් ගුලියක් රැගෙනයි. චන්ද්‍රභාරති ගුරු හිමියන්ට ගුරුපඬුරු දී තමා ගෙන ආ පොත පිළිගන්වා එම පොත පන්සලේ පොත්ගුලේ ඇද්දැයි විමසා සිටියේය.චන්ද්‍රභාරති එම පොත දක්වා තම විද්‍යාතනය උපහාසයට ලක්කිරිමේ උත්සාහයදැනගත් වීදාගම හිමියෝ සාමණේර හිමිනමක් අමතා වහා එම පොත තම පොත්ගුලේ තිබේදැයි බලන ලෙස කීහ.එ සමගම නෙතින් ඉඟියක් කර රාහුල හිමියන්ට එම පොත ලියාගන්නැයි කීහ.ඉන්පසු වීදාගම හිමියෝ එම පොත දැනගන්නට පඬිවරයාට එකින් එක කියවන ලෙස කීහ.පඩිවරයා එය කියවා අවසන්වනවාත් සමගම පොත සෙවීමට ගිය සාමණෙර නම පැමිණ ඇතුල කළු නොමැදපු පොතක් නම් තියනවා ” කියා නාහිමියන්ට දැනුම් දුන්නේය.තමා ලියූ පොතෙ අත්පිටපත පමණක් තමා ලඟ තියෙද්දි තවත් පොතක් පොත්ගුලේ තිබෙන්නේ කෙසෙදැයි ච්න්ද්‍රභාරති පුදුම වුයේය. දෙවැනි පොත රහල් හිමයන්ගේ වැඩකි.යමක් වරක් කිවිට මතකතබා ගැනිමෙ මහත් සහ්ක්තියක් එම හිමිනමට තිබුණි.වීදාගම හිමියෝ එම පොත කළු මැදගෙන එනලෙස කියා පඬිවරයාට ඉදිරිපත් කළේය.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට , සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය.උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියේන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය.රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්ත

විද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ. තවත් අවස්තාවක විහාරයේ මල් පූජාවට යන විට මලසුනේ යමෙක් නිදා සිටිනවා දුටු රහල් හිමියෝ අමුත්තාගේ සැරැටිය සහ ඔලගුව හංගා අවවාද කළේය. දේවතාවකු වූ අමුත්තා රාහුල හිමියන්ට සිද්ධාලෝක රසය හා දඹ රන් කෑල්ලක් පිදු බව කියැවේ.

රාහුල හිමියන්ගේ ප්‍රධාන ගෝලයවුයේ වෑත්තෑවේ හිමියන්ය.යම් සිදුවීමක් නිසා ගුරු ගෝල දෙදේනා අතර අමනාපයක් ගොඩ නැගුණි. ගුරු හිමියො ගෝලයා කෙරෙහි අසතුට පළකරනුවස් වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන තුන්පලකට පළා බෙදා ඉඟියක් කල බව පැවසේ. වෑත්තෑවේ හිමියන්ට මේ බව තේරුණි. නමුත් තමා කිසිවිටෙකත් ගුරුවු රාහුල හිමියන්ට ද්‍රොහි නොවන බවත් එසේ ද්‍රොහි වීමේන් ලැබේන ප්‍රතිඵල තම දන්නා බවත් පැවසිමට ගූත්තිල කාව්‍ය කල බවත් පැවසේ.එසේම මේ කාව්‍යය “සිය පින් සරින් සරු , දේතිස් ලකුනේන් විසිතුරු” යනුවෙන් කාව්‍ය ශාත්‍රයට අනුව වායුගණයෙන් ඇරඹිණ. ඒ අනුව රහල් හිමියන් අමතා “වෑත්තෑවේ මේ පැත්තේ නැව් නගී දැයි” කිවේලු. එලෙසින් වස් වැදුනු වෑත්තෑවේ හිමියන් නැව් නැග විදේශ ගත වූයේලු.

රාහුල හිමියන්ගේ අවසාන සමය අප්‍රකටය.. ඊට හෙතු වශයෙන් දැක්වෙන්නේ ශ්‍රි රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය රචනා කර සයවන පැරකුම්බා රජුගේ දියණිය වූ උලකුඩය දේවියට පුත් එඋවනක් ඉලා සිටියේය. ඒ අනුව ලැබුණු පුත්‍රයා සයවන පැරකුම්බා රජුගේ ඇවැමෙන් පසු ව ජයවීර පරාක්‍රමබාහු නමින් රජ වුවද සපුමල් කුමාරයා ඔහු මරා දමා සිහසුන ලබාගත්තේය.මේ සිදුවීමෙන් කලකිරුණු සිරි රහල් හිමියෝ තම තොටගමුව විහාරය හැර ඇල්පිටිය අම්බන නම් ගමක ගල්ගෙයක හුදකලාව වාසය කළ බව කියැවේ .සපුමල් කුමාරයාට එරෙහි වූ නිසා රහක් හිමියන් ඇල්ලිමට රාජපුරුෂයන් යැවු නමුත් රහල් හිමියෝ තම ගුප්ත විද්‍යාවෙන් බේරි ජිවත් වූ බව කියැවේ.
සිද්ධාලොක රසය වැළඳු නිසා හිමියන්ගේ මළ සිරුර දිරා පත් නොවූ බවත් පසුව ක්‍රිස්තුත් භක්තිකයන් විසින් ඉන්දියාවේ ගෝවට සිරුර ගෙන යන ලදි. අද දක්වා නිය කෙස් රැවුල් වැඩේමින් එහි දේවස්ථානයක ඇති ඒ සිරුර ප්‍රැන්සීස් සෙවියර් ශාන්තුවරයාගේ දේහය යැයි කියා ප්‍රදර්ශනයට තිබේ

 
6 Comments

Posted by on November 21, 2011 in ඉතිහාසය

 

Tags: , , , , , , , ,

Gallery

යකාට ගිය බෝංචි

අතිතයේ සමහර එළවළු වර්ගවලට ඉහළම සැලකිලි ලැබුණු නමුත් බෝංචිවලට සලකන ලද්දේ යකෙකු භුතයෙකු ලෙසිනි. සමහර රටවල පූජකයන්ට බෝංචි යන නම කීම පවා තහනම් විය. බෝංචි පැරැණිම එළවළුවක් ලෙස පිළිගැනිමක් තිබේ.මීට වසර තුන්දාහකට පෙර හීබෘවරු  බෝංචි  එළවළුවක් ලෙස දැන සිටියහ.

ඈත අතීතයේ ළුණු දේවත්වයෙන් සැලකු ඊජිප්තු වැසියන් අතර බෝංචි කෑමෙන් භුත දෝෂ වැළදෙන බවටත්, මොළය කරකවන බවටත් පිළිගැනිමක් තිබුණි. බෝංචි මල්වල සුවඳ වැදිම් මරණයට හේතුවක් විය හැකි යැයි මතයක්ද මුල් බැස ගෙන තිබුණි.බෝංචි වැවී ඇති තැන්වලින් යනවිට නහය වසාගෙන හෝ ඉවත බලාගෙන හෝ ලහි ලහියේ යෑමට ඔව්හු පුරුදුවි සිටියහ. නමුත් ඊජිප්තුවේ සමහරු පූජකවරුන්ගේ දේශනාවලට පිටුපා බෝංචි කෑමට පුරුදුව සිටියහ.

ග්‍රීක පුජක වරු ඊජිප්ප්තු පූජකවරුන්ටත් වඩා දරුණු ලෙස බෝංචිවලට විරුද්ධව ප්‍රචාර ගෙන ගියහ. යක්ෂයන් ද බෝංචිවලට බියවන බවත් ඔව්හු කිවොය. ක්‍රි.පු. 600 විසූ පයිතගොරස් මිය ගිය අයගේ ආත්මය බෝංචි වල තැන්පත් වී ඇති බව කිවේය. පයිතගරස් අනුගාමිකයෝ මේ මතයට කොතරම් ගරු කළා ද කීවොත් සමහරු බෝංචි කනවාට වඩා හිස් ගැසුම් කා මිය යැමට මැකි නොවුහ.ග්‍රීසියේ ඇවලොන් දෙවියන් සඳහා පැවති පූජාවක විශෙෂ තැනක් බෝංචි වලට හිමිවිය. පිසීමෙන් බෝංචි වලට ඇති දුර්බලවේග තුරන් වන බව සමහරු විශ්වාස කලහ.

රෝම වරුන්ගේ විශ්වාසයට අනුව අස්වැන්නට අධිපති සෙරස් දෙව්දුව මිනිසාට පැළෑටි තෑගි දීමේදි බෝංචි එළවළු අතර නොවන නිසා එය ඉවත් කල බව කියෑවේ. ප්ලිනිනම් රෝම ලෙඛකයාට අනුව බෝංචි කරලක් පුජා කිරිම යහපත ගෙන දෙන්නක් විය.මරණයක් වූ පසු ගෘහ මූලිකයාගේ බෝංචි කරල් කීපයක් තම හිසට උඩින් විසිකර මිය ගිය අයගේ නිවසේම රැඳී ඇත්නම් එය ඉවත් කළේය.ඒ හැර මළ ගෙදර කාටත් බෝංචි කරල බැගින් කෑමට ලබාදීමෙන් මියගිය ආත්මයෙන් කරදර නොවේයැයි සිතුවෝය.

 
Leave a comment

Posted by on November 20, 2011 in සමාන්‍ය

 
 
%d bloggers like this: